Powered By Blogger

Saturday, February 21, 2015

පිටස්තර හදවත............

ආදරේ කලුයි!!! ඔව්, ඒක කලුම කළු පාටයි.
දැන් බලන්න එපා පුදුම වෙලා මොකද්ද මේ හරුපේ කියල.
මම එහෙම කියන්න එක හේතුවක් තියෙනවා. මොකද ආදරේ විටෙක සුන්දරයි, විටෙක දුකක්, තවත් විටෙක ත්‍රාසජනකයි, විටෙක අරුමයි, තවත් විටෙක ඒක කවියක් වගේ, තවත් වෙලාවකට කෙටි කතාවක් වගේ...............ඉතිං ඔය එක එක හැගීම් එක එක වර්ණයන්ට සමාන කරොත්, අන්තිමට ඒවායේ සම්ප්‍රයුක්තය කලුයි. පාට පෙට්ටියක තියෙන පාට ඔක්කොම එකට ගාල බලන්න. අන්තිමට හැදෙන්නේ කලු පාට කියල ඔබට වැටහේවී. අන්න ඒ නිසාවෙන් තමයි මම කිව්වේ ආදරේ කලුයි කියල.

මොන දේ කරත් ආදරේ එක්ක තියෙන බැඳීම්, විශේෂයෙන්ම වේදනාත්මක මතකයන් අපිට අමතක කරන්න බැහැ කවදාවත්. කවුරු කොහොම මොනවා කිව්වත්,පුහුදුන් මනසක් තියෙන කෙනෙක්ට කවදාවත් ඕක අමතක කරන්න බෑ. අමතක කරා වගේ ඉන්න පුළුවන් උනාට.
සමහර විටෙක ඒක ගීත නාදයක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්, චිත්‍රයක් හෝ වෙනයම් දර්ශනයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයකට පුළුවන් අපි යටපත් කරන් තියාගෙන ඉන්න හැගීම් නැවත මතක් කරන්න. ඕනෑම කෙනෙක්ව නොමරා මරන්න විරහ වේදනාවට පුළුවන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒ වෙලාවට ජීවිතේ දැනෙන හිස් බව,පාළුව, කෙනෙක්ව සියදිවි හානි කරගන්න තත්වයට පවා පත් කරන්න පුළුවන් බවත් රහසක් නෙවෙයි.
අමතක කරන්න බැරි උනත්, ජීවිතේ අපිට අපි ආස කරන හැමදේම ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගත්තොත් අපිට අපේ දුක යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන්. කලක් අපේම වෙලා තිබ්බ දෙයක් තව කාලෙක අපිට පිටස්තර යැයි දකිනා විට දැනෙන සිතුවිලි සමුදායක් මම පද පේලි ගොන්නක සිරකරා....


පිටස්තර හදවත

තරුද නිහඬය, සඳු ද සැඟවී
අඳුරු උණුහුම විඳගනු කෙලෙස
හිරුගෙන් වත් දැන් යදිමි සිසිලස
නෙතු පියන් වත් නොදත් මේ දුක
සිහින් සරයෙන් හද බිඳී නුඹ

කීරි ගැහෙනා හඬින් වියැකුණ
තනිව සසරේ අතරමං සිත
පියා නෙතුපිය යදින්නට වත් 
අහස කුස නැත පැතුම් පොදි තව

එකෝමත් එක තවත් දවසෙක
අහස කුස ඉම අපෙනෙන නොපෙනෙන
තරම් උසකට මැව් සිහින කඳු
සබඳ නුඹහට සිහිවෙද නොවෙද...............???


Tuesday, January 20, 2015

ප්‍රීතිමත් පවුලක රහස

නිහාලුයි ධම්මිකයි කියන්නේ එකම ගමේ හිටපු ගජ යාළුවො දෙන්නෙක්.දවසක් ධම්මික අහනවා නිහාල්ගෙන් මෙහෙම,
"කොහොමද බන් උඹල ගෝරි බෝරි නැතුව සතුටෙන් කිරි පැණි වගේ පවුල් කන්නේ?"

මොකද මේ ධම්මිකයයි උගේ ගෑනියි හැමදාම වලි.
එතකොට නිහාල් කියනවා මෙහෙම,
"ඒකෙ රහස මේකයි මචන්,අපේ ගෙදර තීරණ ගනිද්දී සිල්ලර ප්‍රශ්න වලට තීරණ ගන්නේ එයා,බැරෑරුම් ප්‍රශ්න වලදී මම තමයි තීරණ ගන්නේ.ඒ හන්ද අපි අතරේ ගැටුම් නෑ...."
"මොනවද බන් එතකොට ඔය සිල්ලර ප්‍රශ්න?"  ධම්මිකයා කුතුහලෙන් අහනව.
"මෙහෙමයි,අපි කන්නේ බොන්නේ මොනවද,අඳින්නේ පළඳින්නේ මොනවද,යන්නේ එන්නේ කොහෙද,ගෙදරට වියදම් කරන්නේ මොනවගේ දේවල් වලටද? ඔන්න ඔයවගේ සිම්පල් දේවල් වලදී තීරණ ගන්නේ එයා."
"එතකොට බැරෑරුම් ප්‍රශ්න කිව්වේ මොනවගේ ඒවාද බන්?"ධම්මිකය උනන්දුවෙන් අහනව.

"පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අපේ රටට සුදුසුද,ද්‍රවිඩ සන්ධානයvඑක්ක තව දුරටත් සාකච්චා කරනවද,ඉසෙඩ් ස්කෝර් එක විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අනාගතයටත් යොදාගන්නවද,මනාප චන්ද ක්‍රමය අහෝසි කරනවද?ඔයවගේ බරපතල තීරණ ගන්නේ මම."...නිහාලයා හෙන ආඩම්බරෙන් කිව්වා.....

ගයියාගේ Rhyme එක

සෑහෙන කාලෙකට පස්සේ ආයෙමත් තුහින යවත්කල් කරන්න ඕනේ කියල හිතුනා. අලුත් අවුරුද්දේ පළමු මතක ආවර්ජනය මීට අවුරුදු දහ අටකට එපිටින් වෙච්චි සිදුවීමකින් අරඹන්න ඕනේ කියල හිතුනා.
මේක මට හදිසියේම මතක් උනේ අන්තර්ජාලයේ සැරිසරනකොට දැකපු පින්තුරයක් හින්ද.



මෙන්න මේ ඉහළින් තියෙන්නේ,ඔන්න ඕක දැකල තමයි මට මතක් උනේ පරණ සිද්ධිය.
ඉංගිරිස් පන්තියේදී තමයි මේ කියන කතන්දරේ උනේ...තුන වසරේ තමයි එතකොට හිටියේ මම(කොට කලිසම් ඇඳගෙන හොටු පෙරාගෙන ඉන්න කාලේ නෙව).මට මතක හැටියට මිස්ගේ නම "අනෝමා".
දවසක් දැන් ඔන්න පන්තියේ එවුන්ට මිස් කිව්වා ඉංග්‍රීසි කවියක් එහෙමත් නැත්තන් poem එකක් කියන්නෙයි කියල. පන්තියේ සම සමව හොටු කෙල්ලෝ සහ හොටු කොල්ලෝ හිටියා. දැන් මිස් අරක කියන්න කිව්වා විතරයි එක එකා මූණට මූණ බලං කුටු කුටු ගාන්න පටන් ගත්ත.
ක්ලාස් එකේ හිටියා "ෂෙහාරි" කියල ගෑල්ලමයෙක්. මෙයා ඉතිං ටිකක් විතර පොස් එක්කෙනෙක් ඈ.
මේකි දැන් විහාර මහා දේවිය වගේ නැගිටලා ගිහිං ක්ලාස් එක ඉස්සරහා කිව්වා ඉංගිරිස් කයියක්,එහෙමත් නැත්තන් English Rhyme එකක්.

"roly poly pudding..........."

(මට ඒකෙ වචන මතක නෑ[ඒ කාලේ තේරුනේ නැහැනේ,ඒ හින්ද වැරදිලාවත් මතක හිටියේ නෑ])
දැන් මේක කියල මහා ආඩම්බර ලුක් එකක් දාගෙන ක්ලාස් එකේ එවුන්ට මේකි ගිහින් වාඩි උනා. අනෝමා මිසුත් කියාපි
"See now Shehari has sung a nice song,Why others cant sing??? " කියල
මොන!!! ඔක්කොම එවුන් බිරාන්ත වෙලා පුටු වලට තියල දෙපරංශ මල්ටි බොන්ඩ් වලින් අලවලා තිබ්බ වගේ හිටියේ. ඔන්න මිස් ඒ පාර කියන්න ගත්තා, "ගෑනු ළමයෙක් නම් කිව්වා,කෝ ඉතින් මේ පිරිමි ළමයින්ට බැරිද?" කියල.
අනේ ඉතින් අන්ත අසරණ අපි මොනවා කරන්නද. එතකොටම අපේ පන්තියේ අන්දරේ හෙවත් "ගයියා" නැගිට්ටා. නැගිටලා මිස්ට කිව්වා,
"මිස් මම එකක් කියන්නම් " කියල. අම්මට හුඩු!!! මිස්ට හෙනම සන්තෝසයි දැන් අන්තිමේදී හරි එකෙක් ඉදිරිපත් උන එක ගැන.
ඒත් ඉතින් ගයියා ගැන දන්නා හින්දාමදෝ හෝ අපේ හිත් වල කොනක පුංචි කහටක් තිබ්බ( "මොකාටද මූ එන්න හදන්නේ " වගේ එකක්.)
කමක් නෑ මොකද වෙන්නේ කියල ඉතින් කටවල් බලියාගෙන ඉන්නවා කොල්ලෝ බලාගෙන දැන්.(කෙල්ලෝ ටිකත් එහෙම්මමයි හරිය!)
ගයියත් සිංහ සෙයියාවෙන් පන්තිය ඉස්සරහට ගිහින් උගුරේ රැල් බුරුල් හෙම ඇරලා පටන් ගත්තා උගේ සින්දුව.................

"Roly poly pudding
ෂෙහාරි කිව්වේ කටිං...."


පද දෙකයි කියන්න හම්බුනේ ඉන් පස්සේ අපි දැක්කේ ඔලුව බේරගන්න පන්තිය වටේ දුවන අපේ කතා නායක තුමා එහෙම නැත්තන් අපේ ආදරණීය ගයියා සහ උගේ මාංශ අනුභව කරන රිස්සෙන් ඌ පසුපස හඹා යන අපේ ආදරණීය ගුරුතුමී,අනෝමා මිස්වයි, හොටු පෙරාගෙන අඬන ෂෙහාරිවයි විතරයි.


කොහොමින් කොහොම හරි ආයෙම ඉංග්‍රීසි පන්තියේදී අපි poem හෝ rhyme කිව්වේ නැහැල්ලු ඈ.......
අදටත් ගයියා ඕක  මතක් කරලා ඒ පාදඩ අතීතය ගැන හිනා වෙනවා බඩ පැලෙනකල්!!!!

ලෙනින්.....




සොඳුරු වොල්ගාව දෙපසින්
චෙරි මල් පිපෙත්දී
බිරියෝසා ඉති කිතිකවා
සිහිල් වූ මදනල
පීතර්බුර්ගයේ පියසි සිප ගනිත්දී
සීතල තුෂර බිඳු
හිරු කිරණින් වියකෙත්දී
යුග ගණන් මුල් ඇද පොලොව බදා පැලවුණු,
රූස්ස රුක් රද ඇද හෙලා,
සදාතනිකවම අචලයයි සිතූ,
දැවැන්ත ගල් පෙරලා,
පීඩිතයින් උදෙසා
නව ලොවක් බිහි වෙත්දී
ක්‍රෙම්ලිනයේ
යෝධ තාප්ප පවුරෙන් ඔබ්බෙහි
ඔබ සුවෙන් සැතපෙයි
තවත්..............
දහසක් සෝ සුසුම් මතක පොදි
උනුහුමට දියවී
සිහි කරයි ඒ නාමය
රනින් කෙටවූ
මතක පත් ඉරු අතරේ..........
ලෙනින් ඔබ සදා අමරණීයයි