මේක මම ඒ
ලෙවෙල් විභාගේ ලියලා රිසල්ට් එනකං ගෙදරට වෙලා බකං නිලාගෙන හිටි කාලේ
වෙච්චි දෙයක්. ඔන්න ඉතිං පට්ට ගේමක් දීල විභාගේ ලියල (ප්‍රතිපල ගැන කතා නොකර ඉමු
හරිය) ගෙදෙට්ට වෙලා ඉඳල එපාවෙලා හිටියේ මම ඒ දවස් වල. යාළුවො එක්ක ටවුන් එකේ රවුම්
ගැහිල්ලත් තිත්ත වෙලයි තිබ්බේ. දැන් කොල්ලොන්ට වගේ ඒ කාලේ අපිට ෆේස් බුකිය තිබ්බේ
නෑ කල් මරන්න ඕo. ඔන්න ඔහොම ඉන්නකොට ඒක දවසක් හදිසියේම ඇමතුමක් ආව අපේ පන්තියේ
හිටි ගජා හෙවත් මගේ අතිජාත මිත්‍රයාගෙන් . පස්සේ පහු වෙත්දී වැස්සට අහුවෙලා පාට
දියවෙලා ගිය සායමක් වගේ ඒ මිතුදම මැකිලා ගියත් ඒ කාලේ මට මගේම සහෝදරයෙක් වගේ හිටි
යාළුවා තමයි ගජයා කියන්නේ.
“ අඩෝ
චතුවා..... මොකද බං කරන්නේ?”මුකුත් නෑ බං ගෙදෙට්ට වෙලා ඉඳල එපා වෙලයි තියෙන්නේ.“යමංද බං
ට්‍රිපක් වත්, මටත් එපාවෙලා ඉන්නේ බං.” ඉබ්බා දියේ දාන්න ඇහුව වාගේ මූ
අහපි. මමත් ඉතිං හිතිං පන්තේරු නැටුම් නටන්න පටන් ගත්තා . ඒ ටිකට මගේ හිත ලංකාවේ
හතර දිග්බාගේ පුරාම දුවන්න පටන් ගත්ත. ඒ ලෙවල් විභාගේ නිසා පහුගිය අවුරුදු
තුනක විතර ඉඳල කොහෙවත් ට්‍රිපක් යන්න බැරුව හිටියේ මම. ගෙදර මිනිස්සු යන ට්‍රිප්
උනත් මාව හලලා ගියේ ක්ලාස් හෙම කට් වෙයි කියල.(අපි ක්ලාස් කට් කරපුවා ගෙදරින්
දන්නවනං...හම්මේහ්!) ඔහොම ඉතිං මොහොතක් මම කල්පනා සාගරේ ගිලෙන්න කියලා
හැදුවා විතරයි රැල්ල පාගන ටිකට ආයේ ටෙලිෆෝන් එකේ අනෙත් පැත්තෙන් අරූ කෑ ගහන්න ගත්ත.“ මොකද බොල
ගල් ඉබ්බෝ සද්ද නැත්තේ??? උඹ එනවද නැද්ද කියහං” මම තිගැස්සිලා සිතුවිලි සාගරෙන්
විසික්කා උණා හරියට රබර් ගෙඩි පුපුරලා රබර් ඇටයක් විසි වෙන්නා වගේ.එනවා එනවා බං, ඔක්කොටම
ඉස්සෙල්ල කියහන්කෝ කොහෙද අපි දැන් යන්නේ කියල.“ඒක පස්සේ තීරණය කරන්න බැරියැ.
අනිත් එවුං ගෙනුත් අහලා බලන්නම් මම ”එළමකිරි ගජා එහෙනං උඹ අහල මට කෝල් එකක් දිය.
මම එනවා අනිවා.ඔන්න ඔහොම ඉතිං අපේ මන්ත්‍රණ සභාවේ උදවිය කතා වෙලා නුවර එළියේ යන්න
කතා කරගත්ත. ඔය ගමනට අපේ සැට් එකේ කොඩියා, කබරයා, බිත්තරයා
,නකයා ඇතුළු කොල්ලෝ 8ක් විතර එකතු වෙනවා කියල
කොම්පෝම් කොරා.දැන් ඉතිං ඊළඟ කේස් ඒක තමයි සල්ලි. ට්‍රිපක් යනවානම් සල්ලි එපැයි.
ගෙදෙට්ට වෙලා ඉන්න කාලේ කොහෙන් සල්ලි හොයන්නද ඉතිං. කොහොමහරි ඉතිං කියලා කියලා
නොවඳිනා වැඳුම් වැඳලා අම්මගෙන් රුපියල් එකදාස් පන්සීයක් ශ්‍රී ලංකාවේ වලංගු
මුදලින් ඉල්ලගත්ත. ඒක ගන්නත් මට පැය එකහමාරක විතර බහුවරණ පේපර් එකකට උත්තර දෙන්න
උනා අපේ අම්මගේ. ගමන යන සෙට් එකේ හොඳ එවුන්ගේ නම් ටික විතරක් කියල යන්තම් කැමැත්ත
ගත්ත.කලින් කතා කරගත් පරිදි පැය දෙකහමාරක විතර ගමනකින් කොටුවේ
ඉස්ටේසම ඉස්සරහින් බැස්ස. ඒ වෙනකොටත් හවස හතට කාලක් විතර ඇති. හරියටම හතට කෝච්චිය
කොටුවේ ඉස්ටේසැමට සැපත් වෙනවා. ඉස්ටේසම ඉස්සරහට යන්නත් කලින්ම අපේ නඩේ අඳුරගන්න එක
මට ඒ හැටි අමාරු උනේ නැත්තේ කොතන ගියත් මුන් ටික අනන්‍යතාවය ඉහලින්ම රැකගෙන ඉන්න
නිසයි. කොහොමහරි කට්ටිය
ඔක්කොම ආවට පස්සේ අපේ භාණ්ඩාගාරික වෙච්චි බැරල් විසින් අපෙන් ලොන්තයක් දාල ටිකට්
ගන්නෙයි කියල කවුන්ටරේ දිහාට ගියා. ඌ ටිකට් ගන්න අතරේ මම නිකමට අපේ සැට් එක දිහා
බැලුව. අතින් එක මල්ලයි, කටින් මල්ලයි, නහයෙන් තව මල්ලකුයි එල්ලන් හරියට
රෝහින්යා සරණාගත සෙට් එකක් වගේ ඉන්නවා එක පෙළට.
අපේ රටේ පාරම්පරික සම්ප්‍රදාය
රකිමින් බදුල්ල නයිට් මේල් එක විනාඩි විස්සක්ම පරක්කු වෙලා ඔන්න ඉතින් හති හලාගෙන
හූ කියාගෙන ඉස්ටේසම දිහාට බඩගෑව.අපිත් ඉතින් සෙනග අස්සේ තෙරපිලා,පොරකාගෙන
දත කාගෙන එකම පෙට්ටියක, එල ලඟම සීට් සෙට් එකක් අල්ලගත්ත. අපරාදේ කියන්න බෑ ගොබිලෝ සෙට්
එක නානු ඔයට යනකම් දෙයියනේ කියල කටවල් බලියන් නිදියපු නිසා යන ගමන එච්චර දිග උනේ
නෑ.ඇට මිදුළු ගල් වෙන ගෙරි හීතලේ ගිනි පාන්දර නානුඔය ඉස්ටේසමෙන් බැස්ස අපි, එතනින්
නුවර එලිය බස් එකක එල්ලිලා නුවර එලිය ටවුමට සේන්දු වෙනකොට යන්තම් උදේ හතට විතර
ඇති. කොහොමහරි ටවුම වටේ කරක් ගහලා ටවුමට ටිකක් ඈතින් වෙන්න ගෙදරක අපි නවාතැන් ගන්න
සෙට් උනා.
දවල් දවසේ නුවර එළියේ ඇවිදලා කියලා
කරපු දේවල් මේකේ දාල මගේ ආදරණීය රසිකයින්ව තෙහෙට්ටු කරවන්න යන්නේ නැත්තේ ඒවා මේ
කියන්න යන කතාවට අදාල නොවන නිසා.කොහොමහරි දවල් දවසේ එහෙ මෙහෙ ඇවිදලා, රෑට කන්න
කියල හිතන් ටවුමට සේන්දු උනා අපි කස්ටිය. ඒ කාලේ ඉතින් නුවර එලිය ටවුමේ කෑම කන්න
තැන් ගොඩක් තිබුනේ නෑ. කඩ ටික බලාගෙන යනකොට, අපේ සෙට් එකේ විකටයා(විගඩමා
කිව්වොත් වඩා නිවැරදියි) හෙවත් චක්‍රවර්තියා අපිවත් ඇදගෙන කඩේකට රිංගුවා.මේස දෙකක්
ඒකට යා කරන් වාඩි වෙච්චි අපි කන්නේ මොනවද කියන එක ගැන කල්පනා කරා. වටපිට බලපු මට, පළමු
බැල්මට් එකෙම්ම කඩේ ගැන ඇති උනේ එතරම් සුබදායී හැගීමක් නෙවේ. අපි ළගට ආව වේටර්
අයියගෙන් ඇහුව කන්න තියෙන්නේ මොනවද කියල.“කොත්තු විතරයි මල්ලි තියෙන්නේ
රෑට” ,ඌ කිව්වා. “යකෝ උගේ ආච්චිගේ කඩයක් නේ. කොත්තු නම් හරියන්නේ
නෑ. බත් ටිකක් කන්නම ඕනේ.” මගේ හිත මට ඇගිල්ලෙන් ඇනලා කිව්වා.
“ඒයි බං
ගජා, මට බෑ බං කොත්තු කන්න. හෙට උදේට පස්ස නිකං ගිනි කන්දක් වගේ
තියෙයි. වෙන මොකවත් කමුකෝ බං.” මම කිව්වා.“අඩෝ කොත්තු කමු බං” අහිංසක මම
ඇරුණුකොටගෙන සභාවේ හිටි අනිත් ඔක්කොම එකහෙලා එක හඬින් කිව්වා. ඒත්
ඉතින් මොනවා කරන්නද දැන්. මුන් ටික ඔක්කොම මේකේ කද්දී මම වෙන කඩේකට යන්නැයි. වෙන
කරන්න දෙයක් නැති නිසා සහ බඩගින්න වැඩිකමටම බැරි බැරි ගාතේම ඉතින් කොත්තු කොටා
බෑවා කිඹුලා එක්ස්පයර් වෙච්චි කිරිමැටි ගිලින්නා වගේ. මේකට ජිල්බෝල හොද්දකුත් තිබ්බනම්
තවත් මරු. මම මටම කියාගත්ත.දැන් ඉතිං කාල ඉවරවෙලා තව ටිකක් වෙලා ටවුමේ කරක් ගහපු
අපි නවාතැන්පලට සේන්දු උනා. වයිට් ලේබල් බාගයක් එක්ක ඒ රැය සුන්දර විදියට ගතවුණා
කියමුකෝ.පහුවෙනිදට දාගෙන තිබ්බ ඔක්කොම වැඩ ටික කැන්සල් වෙන සිද්දියක් සෙට් උනා
එකපාරටම අපි නොහිතාපු විදියට. ගෙදරින් දොට්ට තනියම අඩියක් වත් නොයවාපු “බිත්තරයා”
ගේ සීයා නැති වෙලා කියලා හදිසියේම පණිවිඩයක් ආව. ඌට තනියම ආපහු යන්න තේරෙන්නේ
නැතිකම සහ ඒ වෙලාවේ අපි ආතල් ගන්න එක හරි මදි නිසා අපි තීරණය කරා නැවත කොළඹ බලා
පිටත් වෙන්න. ඩබල් එකේ බඩු ටික පැක් කරගත්තු අපි ඩබල් එකේම යන්න ඕන නිසා නුවරඑලිය
බස් ස්ටෑන්ඩ් එකට ආව. උදේට කාල නොහිටපු නිසා අපේ බැරල් තුමා, සම්මාදම්
මුදලින් අපිට කන්න කෙටි කෑම නොහොත් බිත්තර රෝල්ස් සහ තව මොනවදෝ මන්ද ටිකක් අරන්
ආව. ස්ටෑන්ඩ් එකේ බස් එකක් නොතිබ්බ නිසා එතනම ඉදන් කන්න අපි තීරණය කරා. බස් ස්ටෑන්ඩ්
එකේ හිටි අනෙකුත් උදවිය අමුතු සත්තු ටිකක් දිහා බලන්නාහේ අපි දිහාවට විස්තීර්ණ
බැලුම් හෙලුවත්, ඉන් නොසැලී අපි අපේ බඩකට පුරවාගත්තේ අතිමහත් වූ භක්තියෙන් හා
උද්යෝගයෙන් කියන එක නොකියාම බෑ. අපායට ගියත් කාල යන්න එපාය.වැඩි වෙලාවක් යන්න
කලිම්ම නුවරඑලිය කොළඹ AC බස් එකක්
ආව ස්ටෑන්ඩ් ඒකට. දඩිබිඩි ගාල බස් ඒකට නගගත්තු අපි නොයිවසිල්ලෙන් බස් එක පිටත්
වෙනකම් ඔහේ වල්පල් දොඩව දොඩවා කල් මැරුවා.ඔහොම පැය බාගයක් විතර කල් මරද්දී බස් එක
නුවර එළියෙන් පිටත් උණා. ටික වෙලාවක් යත්දී එක එකා නිදිකිරා වැටෙන්න ගත්තත් මගේ
හිතට නිකම් මොකක්දෝ මහා අමුත්තක් දැනෙන්න පටන් අරන් තිබ්බේ ඒ වෙනකොට. මුලින්
මුලින් හිතට විතරක් දැනිච්ච ඒ අමුත්ත ටිකක් වෙලා යත්දී ගතටත් දැනෙනවා කියල මට
දැනුනේ බඩ කැලතෙනවා වගේ තේරුණ නිසයි.
මුලින්ම
බඩ ඇතුලේ කුඩා දිය සුලියක් වගේ එකක් තමයි ඇතිඋනේ මට මතක විදියට, ඉන්
පස්සේ බඩ ඇතුලේ බ්ලෙන්ඩරයක් වගේ එකක් වැඩ කරන්න ගත්ත මට දැනුන. තවත් විනාඩි
විස්සක් විතර යත්දී ආමාශය පතුලෙන් නිකම් උල් පිහියකින් අනිනවා වගෙත්, ආමාශේ උඩ
හරියේ පොඩි ගින්නක් ඇවිලිලා වගේ ගතියකුත් දැනෙන්න අරගත්තා. අමාරුවෙන් එහාට මෙහාට
ඇඹරෙන මගේ දිහා බලපු, එහා පැත්තේ වාඩිවෙලා හිටපු මගේ අතිජාත මිත්‍ර ගජා, “චතුවා
මොකෝ බං ඇඹරෙන්නේ”“ඉන්න බෑ බං බඩ රිදෙනවා’’‘’හරි හරි ඔහොම ටිකක් ඉවසපන්කෝ, ටික
දුරයිනෙ තව’යකෝ ගමන පටන් අරන් යන්තම් පැයක් ඇති, මූ
කියනවා තව ටික දුරයිලු. එක අතකින් බඩ අල්ලගත්තු මම වකුටු උනේ වේදනාව ඒ තරම්ම
මිහිරි නිසා. AC බස් එක
ඇතුලේ අනිත් උන් කූළ එකේ යත්දී, මම ඉහින් කණින් දාඩිය පෙරාගෙන, ඇටි
කෙහෙලට බැට දීපු අහිංසක උගුඩු පෝතකයෙක් වගේ ඇඹරි ඇඹරි ඉන්නවා. ඒ අස්සේ නඩේ එවුන්ගේ
තුප්පහි කතා සහ සමච්චල් වලටත් මූණ දෙන්නෙපැයි.ඔන්න ඔහොම ඉවසගෙන තවත් පැය බාගෙක
විතර දුරක් අමාරුවෙන් ආව. දැන්නම් ඉවසන්නම බෑ. ෂොපින් මල්ලක් හරි අරන් වැඩේ
කරන්නමයි හිත මට. ඉන්න බැරිම තැන මම ගජාව අල්ලගත්ත (නෑ නෑ වැඩේ උනේ නෑ තවම) මම එලි
බැහැල එනකම් බස් එක මා වෙනුවෙන් නවත්තගෙන ඉන්නේ නැති විත්තිය මම සක්සුදක් සේ
දන්නවා.“එක්කෝ මම බැහැල,වැඩේ කරන් ඊළඟ බස් එකක එල්ලිලා
එන්නම් බං” මම කිව්වා.මුන් ටික ඒකටත් කැමති නෑ. බස් එක තේ බොන්න නතර කරන්නේ
කෑගල්ලේ. කෑගල්ලට වෙනකම් මෙහෙම යන්නත් බෑ. දෙයියෝ සිහි කරන් මම ඕන රෙද්දක් කියල
නැගිට්ට.“චිහ්! මේ යක්කු ඉන්නවා දැක්කේ නැහැනේ”
බස් එකේ
කොන්ද කියනවා මට හීනෙන් වගේ ඇහුන. දෙයියෝ සාක්කි! දෙයියන්ටම පින් සිද්ධ වෙන්න, දේව
දූතයෝ දෙන්නෙක් වගේ ට්‍රැපික් රාළහාමිලා දෙන්නෙක් බස් එක නතර කරා තනි ඉර කපල ඉස්සර
කරා කියල. අන්න ඒ වෙලාවේ තමයි මටත් ගණදෙවි නුවන පහල උණේ. තප්පරෙන් දහයෙන් එකකටත්
අඩු කාලෙකදී කොන්දට කිට්ටු කරපු මම. “අයියේ මේ පොඩි බඩේ අමාරුවක්, ටක් ගාල
මම දුවල එන්නද ?” කියල ඇහුව. “හා හා මල්ලි හැබැයි ඉක්මනට
එන්න” කියල කියන ගමන් ලයිසන්,ඉන්ෂුවරන්ස් එනම් මනම් ටිකත් අරන්
මිනිහ එලියට බහින්න ලෑස්තිය.කොන්දවත් පෙරලගෙන බස් එකෙන් පැනපු මා දිහා අර පොලිස්
රාළහාමිලා දෙන්න ඇස්දොට්ට දාගෙන බලන් හිටිය, ඒ දිහා බල බලා ඉන්න වෙලාවක්
නොතිබුන නිසා මම ටක් ගාල ළඟ තිබ්බ ගෙදරකට දිව්වා හුරේ රන් එකේ.(වෙලාවට ගෙවල් තියෙන
හරියක නතර කරේ. හැබැයි ඒ නැතත් කැලේට හරි දුවනවා ඉතින් වෙලාවේ හැටියට.)කොහොමහරි ඒ
ගේ පැත්තක වැසිකිලියක් තියෙනවා දැක්ක මම, ගෙදර උදවියට කරුණු කාරණා තේරුම්
බේරුම් කර දිදී ඉන්න ගියොත් හෙම කලිසමේම මලපහ වීමේ අවදානම නොගෙන වහාම වැසිකිලියට
දිව්වා. තප්පර හැටකටත් අඩු කාලයකදී සිරුරු කිස නිමා කරපු මට දැනුනේ වචනයෙන් කියලා
නිම කරන්න බැරි,උපමා රූපක ආදේශ කරන්න බැරි තරමේ අමා සහනයක්.
එහෙම්මම
දඩිබිඩි ගාල බස් එකට නගින්න කියල හිතාගෙන දුවනකොට ගෙදරින් එලියට ආපු මනුස්සයෙක්
පුදුමෙන් මා දිහා බලා ඉන්නවා මම ඇස් කොනකින් දැක්කා. ගෙදර උදවියට, පරම්පරා
හතක් යනකම් ආපස්සට හිටි ඔවුන්ගේ මුළුමහත් නෑදෑ සනුහරේටමත් සහ ඔවුන්ගේ නමින් මිය
පරලොව ගිය හිත මිත්‍රාදීන්හටත් හිතින් අනෙක වාරයක් පින් දෙමින් මම බස් රථයට නැග්ගා.
ඒ වෙනකනුත් බස් එකේ කොන්දයියා ඇවිල්ල හිටියේ නෑ. කොහොමහරි ඉතින් පොලිස් මාමලා එක්ක
වැඩේ බේරුමක් කරගත්තු අපේ බස් එකේ රියදුරු මහත්තය සහ කොන්දයිය දෙන්න ආව.බස් එක
නැවතත් සුපුරුදු ගමන් ලීලාවෙන් යන්න පිටත් උනා. ඔහොම
ටිකක් වෙලා යනකොට මම දැක්ක ගජා ඉන්නවා දාඩිය පෙරාගෙන. “මොකෝ බං? වැඩේ
හරිද උඹටත්?” මම ඇහුව.“ඔව් ඕයි,මටත්
කෙලවේගෙන එන්නේ”ඒ අස්සේ මම දැක්ක අනිත් උනුත් එකා දෙන්න ඇඹරෙන්න ගන්නවා.
හිටුකෝ
තොපිට! මට ඇද කර කර ආපු එකේ පලිය මම දැන් උන්ට කෝචෝක් පාර දාල ගන්නව. මම නං දැන්
නිදහස් ගොවියෙක්, මොකද කියනවනම් වැසිකිලිය තුළ ගතකල ඒ කුඩා ඉසිඹුව මගේ බඩ
මිරිස් පොත්තේ ඉඳල සුද්ද කරලා තිබ්බ නිසා.කොහොමහරි අපේ සැට් එකම දැන් ඇඹරෙනවා. ඕක
තමයි මම තොපිට කිව්වේ ඊයේ රෑ කොත්තු කන්න බෑ කියල, කොහෙද
උඹලගේ පෙරේතකම ලොකුයි නේ ඔක්කොටම වඩා. කුම්බලා මාළු කෑවානම් වින්දවාපන් බළලෝ කියල
මමත් උන්ට හිනාවෙවී හිටියා.දැන් කොහොමහරි පේරාදෙණිය හරිය කිට්ටු කරලා තිබ්බේ.
ඉවසන්න බැරිම තැන අපේ බැරල් පුතා කොන්දයියට කිට්ටු කරලා කිව්වා වෙලා තියෙන
සන්තෑසිය. “අයියෝ මල්ලි, එක්කෙනෙක් කලින් බැස්ස, දැන්
ආයෙම මග දිගට නතර කර කර ඉන්න බැහැනේ.” කොන්දා නෝක්කාඩු මූඩ් එක දැම්ම.“ඉන්න බෑ
අයියේ, අමාරුයි. එහෙනම් අපිව මෙතනින් හලන්න, වෙන බස්
එකක එන්නම්” ඒ බැරලයා.
“හරි මල්ලි, අපි කෑගල්ලේ නතර කරනවා තේ බොන්න,ඕගොල්ලන්ව
මම මාවනැල්ලෙන් බස්සන්නම්. ටක් ගාල වැඩේ කරන එන්න” කියාපු ඒ කරුණාවන්ත කොන්දයියා , තී බොන්න
නවත්තන තැන නමත් කිව්වා.ඒ අනුව මාවනැල්ල ටවුමෙන් හතර දෙනෙක් විතර බැහැගත්ත. තව පස්
දෙනෙක් විතර කෑගල්ල පුරවරය කරා ගොස් මිසෙක සිරුරු කිස නොකරන්නෙමුයි තිර අදිටනින්
යුතුව බස් එකේ රැඳුනා. උන්ගේ මූනත්තහඩු දැක්කාම ඒ අදිටන පේනවා.බස් එකේ අනිත්
මිනිස්සුන්ටත් හිනා දැන් මේ සීන් එකට.
මොනවා කරන්නද ඔහොම ගිහින් කෑගල්ලේ තේ බොන කඩේ ළඟ බස් එක නතර කරන්න හම්බුනේ නැහැ, අර ඉතුරු
පස් දෙනාත් වටේ පිටේ කඩ වලට වැසිකිලි පහසුකම් හොයාගෙන දුවන්න ගත්ත. කාම කන්න ආපු
මිනිස්සු පෙරලගෙන කක්කුස්සි හොයන මේ අපතයෝ සෙට් එක දිහා කඩවල් වල මිනිස්සු බලන්
හිටියේ .”මොන ලෝකෙකින් පාත් වෙච්චි ලපඩයෝ ටිකක්ද මුන්” වගේ බැල්මකින්.ටික වෙලාවක්
යත්දී වර්ල්ඩ් කප් එක දිනපු ක්‍රිකට් ටීම් එකක් තමන්ගේ මව් රටට එනවා වගේ සතුටකින්
මාවනැල්ලෙන් බැහැපු උන් ටිකත් ආව.
තේ බීල
ඉවරවෙලා ආයේ බස් එක අද්දන්න කලින් කොහොමහරි කස්ටියම බස් එකට ගොඩ උනා.කොළඹට සේන්දු
වෙන ගමන් ආයේ ට්‍රිප් ගිහින් බඩගින්නේ මග මළත්, කොත්තු නම් කන්නේ නෑ කියලා අපි
අපිටම සපථ කරගත්තා.
අම්මෝ........................කොත්තුවක්
කළ හදියක්!!!